1

සියලු පැසැසුම් අල්ලාහ් ට ම හිමි වේවා! ශාන්තිය හා සමාදානය ඔහුගේ කීර්තිමත් දූතයාණන් හටත් එතුමාණන්ගේ ඥාතී හිතමිතුරන් හටත් අත් වේවා! මෙය අල්ලාහ්ට ප්‍රශංසා කිරීමේ වදන්, අල්කුර්ආනීය ප්‍රාර්ථනා, නබිතුමාණන්ගේ ප්‍රාර්ථනා, ආගමානුකූල මැතීරීම් ක්‍රමය, උදේ සවස පැවසිය යුතු මෙනෙහි කිරීම් යනාදී විවිධ ප්‍රාර්ථනාවන් රාශියක් සඳහන් කදිම පොත් පිංචකි. එමෙන් ම, දුආ ප්‍රාර්ථනා කිරීමේ ආචාර ධර්ම පිළිබඳ ද මෙහි සඳහන් වේ. මුස්ලිම්වරයකුට යහපත් ප්‍රතිඵල රාශියක් ළඟා කර දෙන, අල්කුර්ආනයේ හා හදීස්හි වාර්තා වූ ප්‍රාර්ථනා මඟින් මුස්ලිම්වරයකු දුආ ප්‍රාර්ථනාවෙහි නියැලීම සඳහා සම්මත හා නිවැරදි දුආ ප්‍රාර්ථනා පමණක් මා විසින් තෝරා, මෙහි ලියා ඇති බව මෙහි දී සඳහන් කළ යුතු ය. සෑම ප්‍රාර්ථනාවක ම අරාබි පාඨ හා එහි සිංහල පරිවර්තනය මෙන් ම, එම ප්‍රාර්ථනාවන් උච්චාරණය කළ යුතු ආකාරය ද, සිංහල බසින් මම සඳහන් කර ඇත්තෙමි. එමෙන් ම, මෙම ප්‍රාර්ථනාහි මූලාශ්‍ර මෙම පොතෙහි අවසානයේ සඳහන් කර ඇත්තෙමි. යා අල්ලාහ්, මාගේ මෙම යහ ක්‍රියාව නුඹේ තෘප්තිය තකා සිදු කළා වූ ක්‍රියාවක් ලෙස පිළි ගනු මැන! අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අපගේ ධර්ම දූතයාණන් හටත් එතුමාගේ ඥාතී හිතමිතුරන් ඇතුළු සැමදෙනා හටත් අත් වේවා!

1/1