7

එක ම ප්‍රාර්ථනාව නැවත නැවත පවසමින් අයැඳීම හා තම ඉල්ලිම පිළිබඳ නොපසුබට උත්සාහය. ඒ පිළිබඳ ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන් වාර්තා කළ, නබිතුමාණන් තම මිතුරන් වෙනුවෙන් බද්ර් සටනේ දී කළ ප්‍රාර්ථනාව සාධකයකි. එහි දී නබිතුමාණෝ මෙසේ නැවත නැවත ප්‍රාර්ථනා කරමින් සිටියහ. “යා අල්ලාහ්, ඔබ ප්‍රතිඥා කළ දෑ ඉටු කරනු මැන! යා අල්ලාහ්, ඔබ ප්‍රතිඥා කළ දෑ මා හට ලබා දෙනු මැන!” මේ අයුරින් අල්ලාහ්ගෙන් කන්නලව් කරමින් සිටි හේතුවෙන් තම උරහිස මත තිබූ වස්ත්‍රය පවා ගැලවී බිම වැටුණි. එතුමාණන් අසළ සිටි අබූ බක්ර්තුමාණන් “අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔබ ඔබේ පරමාධිපතිගෙන් කරන කන්නලව්ව ප්‍රමාණවත් ය” යනුවෙන් පවසන ලදී. (මූලාශ්‍රය: මුස්ලිම් 1763) එමෙන් ම, බුහාරි හා මුස්ලිම් හි සඳහන් අබූ හුරයිරා (රළි) තුමාණන් වාර්තා කළ නබි වදනක මෙසේ සඳහන් වේ. වරක් නබිතුමාණෝ දවුස් ගෝත්‍රය වෙනුවෙන් මෙසේ ප්‍රාර්ථනා කළහ. “යා අල්ලාහ්, දවුස් ගෝත්‍රයට යහමඟ පෙන්වනු මැන! ඔවුන් ව අප වෙත ගෙන එනු මැන! යා අල්ලාහ්, දවුස් ගෝත්‍රයට යහමඟ පෙන්වනු මැන! ඔවුන් ව අප වෙත ගෙන එනු මැන!”

7/10